ශ්‍රී ලංකාවේ ආර්ථිකය 10% ක වර්ධනයක් ලබාගන්නවා
ආර්ථික විශේෂඥයෝ පවසති
අලුත් අවුරුදු උදාවත් සමඟ ම ඇරැඹෙන 2011 ආර්ථිකයේ දෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාව සියයට 10 ඉක්මවන ආර්ථික වර්ධනයක් ඇතුළුව තවත් ජයග්‍රහණ රැසක් අත් කැර ගනු ඇතැයි දෙස් විදෙස් ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති.ශ්‍රී ලංකාව මේ වනවිටත් අපේක්ෂිත මට්ටමටත් වඩා ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ සාමාජික රැස්වීමේදී ප්‍රකාශයට පත් විය. දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් වන ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල් සමඟ සසඳන විට පවා ආර්ථික වර්ධන වේගය හා ඒක පුද්ගල ආදායම අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ ප්‍රමුඛ ස්ථානයක බවත් සඳහන් වෙයි!
මීට අමතරව අවුරුදු උදාවත් සමඟ ඇරුඹෙන කාලය ශ්‍රී ලංකා ආර්ථිකයේ පැහැබර යුගයක් පෙන්නුම් කරනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය සංවිධාන විශ්වාසය පල කරයි.
ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ රිචඩ් වෝක්ස් මහතා පසුගිය 6 දා ප්‍රකාශ කළ ආකාරයට යුද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ තාක්ෂණික සංවර්ධනයක් ඇතිවී තිබේ. ඒ සමඟම ගෝලීය ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ධනාත්මක ව බලපා ඇත
ව්‍යාපාරික පරිසරය යහපත් වීම, කෘෂිකර්මය ශක්තිමත් වීම, සංචාරක ව්‍යාපාරය සියයට 46 ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වීම ගුවන් හා නාවික කටයුතුවල යහපත් ක්‍රියාකාරිත්වය සහ ආයෝජකයන්ගේ අවධානය මෙන් ම ආකර්ෂණය ඉදිරි ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ප්‍රභවයන් බව ද ඔහු ප්‍රකාශ කරයි.
මේ වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධනය සියයට 10 ක් විය හැකි බව ද ඔවුහු ප්‍රකාශ කරති. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර අඛණ්ඩව ලබාදීමට ද ඔවුන් තීරණය කර ඇත.
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කෝෂි මතායි මහතා පවසන්නේ; පසුගිය යුද වාතාවරණයේදී පවා සියයට 5 - 6 ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම ආශ්චර්යයක් බවයි. එසේ ම වාර්ෂික ආර්ථික වර්ධනය සියයට 8 - 10 දක්වා ඉහළ නංවාලීමට මේ වසරේ ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
උද්ධමනය සියයට 8.6 ක් පමණ වුව ද එය මේ වනවිට තවදුරටත් පහළ බැසීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 2009 පැවැති 3.5 ක දළ දේශීය නිෂ්පාදිතය 2010 අවසන් වන විට සියයට 7.6 දක්වා වර්ධනය වී තිබේ. 2005 වනවිට 7.8 ක් වූ විරැකියාව ප්‍රතිශතය මේ වනවිට සියයට 5.4 දක්වා අඩුවී ඇත. මේ අතර ඒකපුද්ගල ආදායම 2015 වන විට දෙගුණ කිරීමේ වැඩපිළිවෙළ ද රජය මඟින් ක්‍රියාත්මක කෙරේ. දැනට එම ප්‍රමාණය ඇ. ඩො. 2047 කි. මේ කරුණු සලකා බලන විට ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ අද්විතීය වර්ධනයක් දැකිය හැකි වන අතර ජනතාවට ආර්ථික වශයෙන් සහනදායි කාලයක් උදා වනු ඇති බව දෙස් විදෙස් ආර්ථික විද්‍යාඥයෝ අදහස් ඵල කරති.